
සමහර ගීත සහ කලාත්මක ප්‍රකාශන වලින් ත්‍රස්තවාදය නිර්මාණය කරන්නේ යැයි තර්ක කිරීම වරදක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන් වර්ණනා කල ගීතයක් නිර්මාණය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය:
ශ්‍රී ලංකාව තුළ නැවත කිසිදා යුදමය තත්ත්වයක් ඇති නොවන බවත්, එල්.ටී.ටී.ඊ. වැනි සන්නද්ධ සංවිධාන නැවත බිහිවීමේ හැකියාවක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා පැහැදිලිව සහ ස්ථිරව ප්‍රකාශ කරල තියෙනවා.
එවැනි තත්වයක් තුල සමහර ගීත හෝ කලාත්මක ප්රකාශනයන් පමණක් පදනම් කරගනිමින් ඒවා යුද්ධයක් ඇති කරන්නේ යැයි තර්ක කිරීම බොරුවක්.
කලාව, සාහිත්‍යය සහ සංගීතය යනු මිනිසුන්ගේ ඉතිහාසය, මතකයන්, හැඟීම් සහ අත්දැකීම් ප්‍රකාශ කරන සමාජීය පිළිබිඹුවක් වේ. ඒවාට වැරදි පැටවීම වෙනුවට, ඒවා නිර්මාණය වීමට බලපෑ සමාජීය සහ දේශපාලනික පසුබිම වටහා ගැනීම ඉතාමත් වැදගත් වේ.
දෙමළ ජනතාව තවමත් නොවිසඳුණු ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටිති. ඉඩම්, අතුරුදහන් වූවන්, දේශපාලන බලය බෙදා හැරීම, ආර්ථික ප්‍රගතිය, අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ඇතුළු බොහෝ කරුණුවලදී සාධාරණ විසඳුම් අවශ්‍යව පවතී. මෙවැනි මූලික ගැටලුවලට සම්පූර්ණ විසඳුම් ලැබෙන තෙක්, මිනිසුන්ගේ හැඟීම්, මතකයන් සහ ඒවායේ කලාත්මක ප්රකාශනයන් දිගින් දිගටම එළිදැක්වීම සාමාන්‍ය ස්වභාවයකි.